ටෙස්ට් තරග 104ක් ඇතුළත කඩුලු 414ක්, එක්දින තරග 356ක් ඇතුළත කඩුලු 502ක්, ඒ වගේම ටෙස්ට් තරගයකදී අංක 8 පිතිකරුවා විදිහට ඇවිත් ලබාගත් ලකුණු 257ක දැවැන්ත ඉනිමක්. මේ ඉලක්කම් ඇහෙද්දිම ක්‍රිකට් ලෝකයේ ඕනෑම කෙනෙකුගේ හිතට එන එකම රූපය තමයි ඒ භයානකම වමත් වේග පන්දු යවන්නා, වසීම් අක්‍රම්.
මේ කතාව පටන් ගන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවර 'මසාං' කියන අතිශය ජනාකීර්ණ, පටු පාරවල් සහ එකට යා වෙච්ච ගෙවල් තියෙන ප්‍රදේශයෙන්. පොඩි කාලේ වසීම් කියන්නේ වහලවල් උඩින් පැන පැන කිලෝමීටරයක් විතර දුරට සරුංගල් යවපු සාමාන්‍ය දඟකාර කොල්ලෙක්. ඉස්කෝලේදී ඔහු හැම ක්‍රීඩාවකටම දක්ෂයි. බාස්කට්බෝල්, ටේබල් ටෙනිස්, මලල ක්‍රීඩා මේ හැමදේම කළත්, වමත්කාරයෙක් වෙච්ච නිසා හොකී ගහන්න බැරි බව ඔහුට තේරුණා. කොහොමහරි මේ කොල්ලා පාරේ ක්‍රිකට් ගහනවා දැකපු අසල්වැසියෙක් වෙන හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙක් වුණු ඛාලිඩ් මහමුද්, ඔහුව ක්ලබ් එක්කගෙන යනවා. හැබැයි ඒ ක්ලබ් එකට මාසෙට රුපියල් 100ක් ගෙවන්න තරම්වත් වසීම්ගේ අතේ සල්ලි තිබුණේ නැහැ. ඒත් ඔහුගේ දක්ෂකම දැකපු ක්ලබ් එකේ අය ඔහුගෙන් සල්ලි ගත්තේ නැහැ.
ඔහොම ඉද්දි 1984 අවුරුද්දේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තරුණ ක්‍රීඩකයින් 100 දෙනෙකුට කඳවුරකට කතා කරනවා. වසීනුත් එතනට යනවා. හැබැයි මේ කඳවුරේදී දවස් 4ක් යනකල් කිසිම කෙනෙක් මේ තරුණ කොල්ලට පන්දුවක්වත් අල්ලන්න දෙන්නේ නැහැ. එතන හිටියේ රමීස් රාජා වගේ ජාත්‍යන්තර මට්ටමේ හිටපු ක්‍රීඩකයෝ. කලකිරිලා ගෙදර යන්න හදපු වසීම්ට, ඔහුගේ ක්ලබ් එකේ නායකයාගේ මැදිහත් වීමෙන් 5 වෙනි දවසේ හවස අඳුර වැටීගෙන එද්දි පන්දු යවන්න අවස්ථාවක් ලැබෙනවා. එදා ඔහු යවපු පන්දු වල වේගය දැකපු පුහුණුකරුවා පුදුම වෙලා, පහුවදා උදේම ඔහුට අලුත් පන්දුවම අතට දෙනවා. අලුත් බෝලෙන් වසීම් දාපු 'ඉන්-ස්විං' පන්දු වලට හැමෝම ගල්ගැහුණා.
ඔය අතරේ තමයි ආබාධයකින් පස්සේ පුහුණුවීම් වලට ජාවෙද් මියන්දාද් එන්නේ. මියන්දාද්ට පන්දු යවන්න දැල් ඇතුළට ගිය වසීම්ට උපදෙස් ලැබිලා තිබුණේ බවුන්සර් දාන්න එපා කියලා වුණත්, ඔහු බය නැතුව වේගයෙන් පන්දු යැව්වා. වසීම්ව දැක්කම ජාවෙද් මියන්දාද්ට පුදුම හිතුණා. එතනින් තමයි වසීම්ගේ වාසනාවේ දොරටුව ඇරෙන්නේ. මේ දක්ෂකම් එක්ක වසීම්ව කරච්චි වල තියෙන මීළඟ කඳවුරට තෝරාගන්නවා. ඒ කඳවුරට යන්න ඔහුගේ තාත්තා ඔහුට ගුවන් ටිකට් පතක් අරන් දෙනවා. වසීම්ගේ ජීවිතේ පළවෙනි ගුවන් ගමන ඒක. ප්ලේන් එකේ සීට් බෙල්ට් එක දාන්නවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. රමීස් රාජාලා තමයි ඔහුට ඒවා කියලා දුන්නේ. ඒ විතරක් නෙවෙයි, ප්ලේන් එකේ කෑම ගෙනෙද්දි වසීම් අහලා තියෙනවා "මේවට කීයක් දෙන්න ඕනෙද?" කියලා. ඒ කතාවට අනිත් ක්‍රීඩකයෝ සෑහෙන්න හිනාවෙලා තියෙනවා.
කරච්චි කඳවුරෙන් පස්සේ නවසීලන්තයත් එක්ක තියෙන පළමු පෙළ තරගයකට වසීම්ව තෝරාගන්නවා. මේ තරගයට කලින් කණ්ඩායමේ කළමනාකරු වසීම්ගේ අතට රුපියල් 3000ක් දෙනවා. තමන්ගේ තාත්තා මාසෙටම දුන්නේ රුපියල් 200ක් වෙච්ච කාලේ, රුපියල් 3000ක් කියන්නේ වසීම්ට මහා ලොකු සල්ලියක්. ඔහු හිතුවා මැච් එකක් ගහන්නත් කලින් මෙච්චර සල්ලි හම්බවෙනවා නම් මේක මාර රස්සාවක්නේ කියලා. ඒ පළමු තරගයේදීම වසීම් කඩුලු 7ක් දවාගෙන පුදුම කරනවා.
ඊටපස්සේ ෆයිසලාබාද් වල තිබුණ නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයටත් ඔහුට අවස්ථාව ලැබෙනවා. තරගය ජයගන්න නවසීලන්තයට අවසන් ඕවරයට ලකුණු 24ක් ඕන වෙලා තියෙද්දි, නායක සහීර් අබ්බාස් ඒ ඕවරය දෙන්නේ තරුණ වසීම්ට. ජෙරමි කෝනි වසීම්ගේ ඒ ඕවරයට හතරේ පහරවල් 3ක් 4ක්ම එල්ල කරනවා. යෝකර් දාන්න නොදැන හිටපු වසීම් දැම්මේ ලෙන්ත් බෝල විතරයි. තරගය දිනුවත්, තමන්ට සෑහෙන්න ගුටි කාපු නිසා ආයේ කණ්ඩායමට ගන්න එකක් නැහැ කියලා ඔහු හිතුවත්, නවසීලන්ත සංචාරයටත් ඔහුට ටිකට් එක ලැබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් ගහන ගමන් වසීම් තරුණ වයසෙදීම එංගලන්තයේ ලීග් ක්‍රිකට් ගහන්නත් යනවා. ඒ ගමන ලෑස්ති කරන්නේ ඉම්රාන් ඛාන්ගේ යාළුවෙක්. මුලින්ම යද්දි ඔහුට හම්බවුණේ සතියට පවුම් 50යි. ලෙදර් ජැකට් එකක් ගහගෙන, අව් කණ්ණාඩි දාගෙන හීත්‍රෝ ගුවන්තොටුපළෙන් බහිද්දි රෑ වෙලා. ඒ සීතලේ, අඳුරේ ඔහු හිතුවේ තමන් වැරදි රටකට ඇවිත් කියලා. එංගලන්තයේදී ඔහුට අමුතු අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. එතනින් එකක් තමයි ඒ රටේ Dressing room සංස්කෘතිය. පාකිස්තානේ ක්‍රීඩකයෝ ට්‍රැක් සූට් ගහගෙන ඇවිත් ඒක පිටින්ම යනවා වුණත්, එංගලන්තේ මැච් එක ඉවර වුණාම හැමෝම ඇඳුම් නැතුව එකට නාන්න ඕනේ. මුලින්ම සෑහෙන්න ලැජ්ජ වුණු වසීම් යට ඇඳුම පිටින් නාන්න ගියාම සුද්දෝ ඔහුට හිනාවෙලා තියෙනවා. හැබැයි මාසයක් විතර යද්දි ඔහුත් ඒකට පුරුදු වුණා.
මේ කාලේ වසීම්ගේ ප්‍රියතම තැනක් වුණේ 'Tuxedo Princess' කියන නයිට් ක්ලබ් එක. මේක සාමාන්‍ය ක්ලබ් එකක් නෙවෙයි, ගඟක් මැද නැවක් උඩ හදපු එකක්. තරුණ වසීම් තමන්ගේ යාළුවොත් එක්ක සති අන්තයේ මේ ක්ලබ් එකේ විනෝද වෙන්න ගියා. ඒ කාලේ එංගලන්තයේ ක්‍රීඩා සමාජ වල බවුන්ඩරිය මීටර් 30යි. ඔහු පිත්තෙන් වගේම පන්දුවෙනුත් සෑහෙන්න දස්කම් දැක්කුවා. පස්සේ කාලෙක 1999 ලෝක කුසලානයෙන් පස්සෙත් ඔහු එංගලන්තයේ ලීග් ක්‍රිකට් ගහන්න ගියා. ඒ වෙද්දි ඔහුට ජාතික කණ්ඩායමෙන් ලැබෙනවාට වඩා ලොකු මුදලක් එහෙන් ලැබුණා. හැබැයි ඒක මානසිකව මහා වදයක් වුණා. මොකද හැමෝම බලාපොරොත්තු වුණේ ලෝකයේ ඉන්න හොඳම පන්දු යවන්නා හැම බෝලෙටම කඩුල්ලක් ගනියි, ගහන හැම බෝලෙටම ලකුණු ගහයි කියලා. මාසයක් යද්දි ඒ පීඩනය දරාගන්න බැරුව ඔහු ඒක අතහැරලා දැම්මා.
හැබැයි මේ සුන්දර මතකයන් අස්සේ වසීම්ගේ ජීවිතේ අඳුරුම පැත්තකුත් තිබුණා. ඒ තමයි මත්ද්‍රව්‍ය. ක්‍රිකට් වලින් සමුගත්තට පස්සේ එංගලන්තයේ පාටියකදී යහළුවෙක්ගේ කීමකට ඔහු කොකේන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. මුලින්ම එක ලයින් එකක් ගැහුවත්, පස්සේ ඒක ග්‍රෑම් එකක් බවට පත්වුණා. ඔහුට ඒක නැතුව සමාජයට යන්න බැරි තත්ත්වයක් ආවා. මේ ඇබ්බැහිය නිසා ඔහුගේ පවුල, විශේෂයෙන්ම පළමු බිරිඳ හුමා සෑහෙන්න දුක් වුණා. පස්සේ ඇය ඔහුව පාකිස්තානයේ පුනරුත්ථාපන කඳවුරකට දානවා. ඒක බටහිර රටවල ටීවී එකේ දකින ලස්සන රිහැබ් එකක් නෙවෙයි. කාමර 8ක් තියෙන කොරිඩෝවක් විතරක් තියෙන හිරගෙයක් වගේ තැනක්. ඔහුව එතන මාස දෙකහමාරක් බලෙන් තියාගත්තා. ඒකෙන් වුණේ ඔහු ඇතුළේ ලොකු තරහවක්, කැරලිකාරී බවක් ඇතිවුණු එකයි.
ඔය අමාරු කාලේ අතරමැද තමයි ඔහුගේ බිරිඳ හුමා හදිසියේම මිය යන්නේ. අවුරුදු 7ක සහ 10ක පුතාලා දෙන්නෙක් එක්ක වසීම් තනි වෙනවා. ආසියානු සංස්කෘතියේ ළමයි බලාගන්නේ අම්මලා. තාත්තලා කරන්නේ සල්ලි හොයන එක. බිරිඳ නැතිවුණාම වසීම්ට තේරුණා අම්මා කෙනෙක්ගේ වගකීම කොච්චර ලොකුද කියලා. ළමයින්ගේ ඇඳුම් හොයන්න, ඉස්කෝලේ මීටින් වලට යන්න, කෑම හදන්න ඔහු දැනගෙන හිටියේ නැහැ. ඒ අවුරුදු දෙක තුන ඔහුගේ ජීවිතේ අමාරුම කාලය වුණා. යාළුවන්ගේ උදව්වෙන් කොහොමහරි ළමයි දෙන්නව බලාගත්ත වසීම්, කරච්චි වලට පදිංචියට ගියා. අවුරුදු 20ක් ඔහු එක්ක හිටපු සේවකයා අබ්බාස් ඔහුට ලොකු හයියක් වුණා. පසුව ඔහු ෂැනියෙරා සමග විවාහ වීමත් එක්ක ඇය දරුවන්ගේ වගකීම බාරගත්තා.
මේ අඳුරු අත්දැකීම් එක්ක වසීම් අද තරුණ පරපුරට දෙන ලොකුම අවවාදය තමයි, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ තමන් ආශ්‍රය කරන යාළුවෝ නිසයි කියන එක. වටේ ඉන්නේ කිසිම අරමුණක් නැති, රස්තියාදු ගහන අය නම්, අනිවාර්යයෙන්ම ඒ තැනටම වැටෙනවා කියලා ඔහු තරයේ විශ්වාස කරනවා.
මේ හැමදේම එකතු කරලා ලියපු ඔහුගේ පොතට 'සුල්තාන්' කියලා නම දාන්න හේතුවක් තියෙනවා. ඒකේ තේරුම 'පරමාධිපත්‍යය, බලය' යන්නයි. පිටියේදී පිතිකරුවන්ගේ කඩුලු කුඩුපට්ටම් කරපු ඒ දරුණු වේග පන්දු යවන්නා, ජීවිතයේ වැටීම්, නැගිටීම්, දුක, සතුට සේරම අත්විඳලා, ඒ හැමදේකින්ම පාඩම් ඉගෙනගෙන අද සැබෑ 'සුල්තාන්' කෙනෙක් වගේ ජීවිතය ජයගෙන ඉන්නවා කියන එක මුළු ලෝකෙටම ඔප්පු කරලා පෙන්නුවා.