මේ මොහොතේ ට්විටර්, ඉන්ස්ටාග්‍රෑම් සහ රෙඩිට් (Reddit) ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල ඉන්දීය ක්‍රිකට් රසිකයන් අතර වැඩිපුරම කතාබහට ලක්වන, ජනප්‍රියම තරුව බවට පත්ව ඇත්තේ අපේ එෂාන් මාලිංගයි. අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් මේ වන විට ඔහුට සීමාවක් නොමැති තරම් පැසසුම් සහ අතිවිශාල රසික ප්‍රතිචාරයක් නොකඩවා ලැබෙමින් පවතී.
2025 IPL වාරයේදී තරග 7කට ක්‍රීඩා කළ ඔහු කඩුලු 13ක් දවාගැනීමට සමත් විය. ඉන්පසුව 2026 වසරේදී SRH කණ්ඩායමේ තීරණාත්මක වෙනසක් සිදු විය. මොහොමඩ් ෂාමිගේ නික්ම යාමත්, පැට් කමින්ස්ගේ ආබාධයට ලක්වීමත් සමග, තරුණ පන්දු යවන්නන්ගෙන් සමන්විත SRH පන්දු යැවීමේ බලඇණියේ නායකත්වය අනපේක්ෂිත ලෙස එෂාන් මාලිංගගේ කරමතට වැටිණි.
එම අභියෝගය මනාව භාරගත් ඔහු මේ දක්වා කඩුලු 12ක් දවාගෙන ඇති අතර, එහි වැදගත්ම කරුණ වන්නේ තීරණාත්මක අවස්ථාවන්හිදී එම කඩුලු ලබා ගැනීමයි. ඔහුගේ දක්ෂතා පහත පරිදි දැක්විය හැක:
දිල්ලි කැපිටල්ස්ට එරෙහිව: ලකුණු 32කට කඩුලු 4ක්.
(මෙහිදී නිතීෂ් රානා, ඩේවිඩ් මිලර්, ට්‍රිස්ටන් ස්ටබ්ස් සහ අශුතෝෂ් ෂර්මා) යන ප්‍රබල පිතිකරුවන් දවාගැනීමට ඔහු සමත් විය. එම තරගයේදී ඔහුගේ අවසන් පන්දු යැවීමේ සටහන ලකුණු 10කට කඩුලු 4ක් ලෙස සටහන් වූ අතර, එය දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය හඹායාම සීමා කිරීමට දැඩිව බලපෑවේය).
චෙන්නායි සුපර් කින්ග්ස් ට එරෙහිව: තියුණු තරගයකදී ලකුණු 29කට කඩුලු 3ක්. රාජස්ථාන් රෝයල්ස් ට එරෙහිව: ලකුණු 31කට කඩුලු 2ක්. කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) ට එරෙහිව: ලකුණු 14කට කඩුලු 2ක්.
මේ වන විට SRH කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවෙයි. ඔවුන් මුහුණ දුන් සෑම තරගයකදීම කාසියේ වාසිය පරාජය වී, සෑම තරගයකදීම පළමුවෙන් පන්දු යැවීමට සිදුවීමත්, කණ්ඩායමේ විශ්වාසය තැබිය හැකි ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නෙකු නොමැති වීමත් යන කරුණු සැලකූ විට මෙය විශිෂ්ට ජයග්‍රහණයකි. මෙම තරුණ පන්දු යවන්නන්ගේ බලඇණිය ශක්තිමත්ව රඳවා තබාගැනීමේ ප්‍රධානතම හේතුව වී ඇත්තේ එෂාන් මාලිංගය.
එෂාන්ගේ පන්දු යැවීමේ දත්ත විශ්ලේෂණය කිරීමේදී, ඉනිමේ විවිධ අවස්ථාවලදී ඔහු දක්වන දක්ෂතාවන්හි පැහැදිලි වෙනසක් හඳුනාගත හැකිය.
පළමු ඕවර 10 තුළ: ඔහු යවා ඇති ඕවර 19දී ලබාගෙන ඇත්තේ කඩුලු 4ක් පමණි. එහිදී ඔහුගේ සාමාන්‍යය 46.25ක් ද, ප්‍රහාරාත්මක වේගය 28.5ක් ද, පන්දුවාරයකට ලබාදෙන ලකුණු සංඛ්‍යාව (Economy rate) 9.73ක් ද වේ.
අවසන් ඕවර 10 (Death overs) තුළ: ඔහුගේ දක්ෂතා විශිෂ්ට මට්ටමක පවතී.
එහිදී ඔහු යවා ඇති ඕවර 30.4 තුළ කඩුලු 21ක් දවාගෙන ඇත. එහිදී ඔහුගේ සාමාන්‍යය 12.85ක් තරම් පහළ අගයක පවතින අතර, ප්‍රහාරාත්මක වේගය 8.7ක් ද, Economy rate එක 8.80ක් ද වේ. මින් පැහැදිලි වන්නේ ඉනිමේ අවසන් භාගයේදී තරගය පාලනය කිරීම සහ කඩුලු දවාගැනීම සඳහා ඔහු සතු සුවිශේෂී හැකියාවයි.
2025 IPL තරගාවලියේ සිට මේ දක්වා කඩුලු 20කට වඩා ලබාගෙන ඇති පන්දු යවන්නන් අතරින්, හොඳම පන්දු යැවීමේ ප්‍රහාරාත්මක වේගය (11.9) සහ හොඳම සාමාන්‍යය හිමිකරගෙන සිටින්නේ එෂාන් මාලිංගය.
මෙම සියලු දත්ත සහ දක්ෂතා දෙස බැලීමේදී එක් කරුණක් මනාව පැහැදිලි වේ. එනම්, එෂාන් මාලිංග යනු හුදෙක් තවත් එක් සාමාන්‍ය වේග පන්දු යවන්නෙකු පමණක් නොවන බවයි. ඔහු සමස්ත තරගයක ගමන්මග වෙනස් කිරීමට සමත් "Match winner" කෙනෙකු බවට මේ වන විටත් පත්වී හමාරය.
ආබාධයකට ලක්වීම හේතුවෙන් 2026 T20 ලෝක කුසලානය නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට අවාසනාවන්ත ලෙස අහිමි වුවද, ඔහු මේ වන විටත් තමන් සතු වටිනාකම ජාත්‍යන්තර තලයේ ඔප්පු කර පෙන්වා ඇත.
විශාල අත්දැකීම් නොමැති තරුණ SRH පන්දු යැවීමේ බලඇණියක් තනිවම මෙහෙයවමින් ඔහු අත්කරගත් මේ සාර්ථකත්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුව නිසි ලෙස කළමනාකරනය කළහොත් අපට ඔහුගේ මෙම දැඩි කැපවීම, නොපසුබට උත්සාහය සහ ඔහු දක්වන ඒ අසමසම හැකියාව ඉදිරියේ, 'එෂාන් මාලිංග' යන නාමය ඉදිරි වසර කිහිපය පුරාවටම ලෝක ක්‍රිකට් පිටියේ අභිමානයෙන් රැව්දෙනු නිසැකය.