1998 අප්‍රේල් මාසේ අරාබි කාන්තාරයේ හැමුවා පුදුමාකාර කුණාටුවක් !
සචින් තෙන්දුල්කාර් සාජා පිටියේදී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ව අනුකම්පා විරහිතව කැබලි කරලා දානකොට මුළු ලෝකෙම හිටියේ හුස්ම ගන්නවත් අමතක වෙලා. පන්දු 131කින් ලකුණු 143ක්! හයේ පහර 5ක් එක්ක හතරේ පහර 9ක් !
සචින්ගේ ඒ 'Desert Storm' ඉනිම ඉන්දියාවේ හිටපු පොඩි එවුන්ගේ නහරවලට එන්නත් කළේ පුදුමාකාර උමතුවක්.
මේ කතාව පටන් ගන්නේ අන්න ඒ උමතුවෙන් ඔළුව කුරුවල් වෙච්ච එක අවුරුදු නමයක පොඩි එකෙක්ගෙන්.
1998 මැයි හරි ජුනි හරි මාසෙක කට්ට අව්වේ දාඩිය පෙරාගෙන මේ මහත, චබී කොලු ගැටයා තමන්ගේ තාත්තා 'ප්‍රේම්' ගේ ඇඟිල්ලක එල්ලිලා බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියට අඩිය තිබ්බේ ලෝකයක් හොල්ලන්න ලොකු හීනයක් හිතේ තියාගෙන.
හැබැයි ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු රාජ්කුමාර් ෂර්මාට නම් මේ කොලුවා ගැන මුලින් කිසිම ගාණක් තිබුණේ නැහැ. මොකද දිල්ලියේ හැම මුළුල්ලකම සචින්ලා වෙන්න හීන දකින මේ වගේ පොඩි එවුන් දහස් ගාණක් හිටියා. ඒ ඔක්කොම එක වගේ. කැපී පේන්න නම් ඊට වඩා යම්කිසි සුවිශේෂී, අසාමාන්‍ය යමක් තියෙන්නම ඕනේ.
ඔහොම සාමාන්‍ය විදිහට ගෙවිලා ගියපු එක දවසක, මුළු ඇකඩමියම නිහඬ කරපු සිදුවීමක් වුණා.
මේ අවුරුදු නමයේ චබී කොලුවා බවුන්ඩ්‍රි ලයින් එකේ ඉඳන් කඩුලු රකින්නාගේ අතටම යැව්ව ත්‍රෝ එක හරියට තුවක්කුවකින් පිටවුණු උණ්ඩයක් වගේ වාතය කපාගෙන ආවේ. රාජ්කුමාර් ෂර්මා තමන්ගේ සහාය පුහුණුකරු දිහා බැලුවේ අදහාගන්න බැරුව. සහාය පුහුණුකරුගේ ඇස් දෙකත් නළලේ. අවුරුදු නමයක පොඩි එකෙක්ගේ අත් දෙකක එහෙම අසාමාන්‍ය හයියක් තියෙන්න පුළුවන්ද?
ඊළඟ මැච් එකේදී ඒ පුදුමය සම්පූර්ණයෙන්ම විශ්වාසයකට පෙරළුණා. මිඩ් විකට් කලාපයට ඉහළින් අලංකාර විදිහට වාතය ඉරාගෙන ප්‍රේක්ෂකාගාරයට ගිහින් වැටුණු ඒ අසීරු ෆ්ලික් පහර දැක්කම ෂර්මාට එක දෙයක් ඉර හඳ වගේ ෂුවර් වුණා. මේ කොලුවා ආවේ නිකන්ම නිකන් සෙල්ලම් කරලා යන්න නෙවෙයි!
එදා ඉඳන් ඒ පුහුණුකරුවා මේ දරුවාව කිට්ටුවෙන් නිරීක්ෂණය කළා. පුදුම කැපවීමක්! පුහුණුවීම්වලට කලින්ම එන මේ කොලුවා කවදාවත් නිකරුණේ වෙලාව නාස්ති කළේ නෑ. අතේ හැමතිස්සෙම බැට් එකක් හරි බෝලයක් හරි තිබුණා. ඔහුව ගෙදර යවන්න පුහුණුකරුවන්ට වෙනම යුද්ධයක් කරන්න සිද්ධ වුණා. පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම අංකයක බැට් කරන්න ඔහු ලෑස්ති පිට හිටියා වගේම, කියලා දෙන ඕනෑම පාඩමක් කවුරුත් හිතනවාට වඩා ඉක්මනින් ඔහුගේ මොළයට ග්‍රහණය කරගත්තා.
හැබැයි මේ ගමන මල් අතුරාපු එකක් වුණේ නැහැ. ඒ කාලේ දිල්ලියේ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමකට රිංගගන්න නම් දක්ෂතාවයට වඩා හිතවත්කම්, පගාවල් වගේ දේවල් ඕනේ වුණා. ඒ ජරාජීර්ණ වෙච්ච සිස්ටම් එක මේ දරුවාව වට්ටන්න හැම උත්සාහයක්ම ගත්තා.
ඒත්... ඒ කිසිම දේකට ඒ ගමන නවත්වන්න බැරි වුණා. එදා තාත්තගේ අතේ එල්ලිලා ඇකඩමියට ගියපු ඒ චබී කොලුවාගේ දක්ෂතාවය ඉස්සරහා අර කුණු වෙච්ච සිස්ටම් එකට දණ ගහන්නම සිද්ධ වුණා.
එදා සචින්ගෙ ඉනිම දැකලා පටන් ගත්තු ඒ 'කුණාටුව', ඊටත් වඩා දරුණු විදිහට දශකයකට පස්සේ ලෝකය පුරාම හමන්න පටන් ගත්තා.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ රසිකයෙක් නම්, ඒ කුණාටුව කොතරම් ප්‍රබලව දශකයකට පසු හැමුවාද යන්න මම අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. අද ඔහු එක්දින ක්‍රිකට් වංශකතාවේ වැඩිම ශතක ලාභියායි. මුළුමහත් ලෝක ක්‍රිකට් ඉතිහාසයේම දෙවැනි වැඩිම ලකුණු ලාභියා මෙන්ම, දෙවැනි වැඩිම ශතක ලාභියා ද ඔහුයි.
ඒ කුණාටුවේ නම, 'විරාත් කෝලි!'